උදෑසන කෝපී බීම තේ වලට වඩා හොද වීමට හේතු 5 ක්

කෝපි සහ තේ කියන්නෙ ලෝකය පුරා වැඩිපුරම පිරිසක් පානය කරන්න කැමති බීම වර්ග දෙකක්. ඒත් ගොඩක් අය තේ වෙනුවට කෝපි කෝප්පයක් තමයි උදේට පානය කරන්න තෝරගන්නෙ. තේ වෙනුවට කෝපි කෝප්පයක් පානය කරලා දවස පටන් ගන්න අය වඩාත් ක්‍රියාශීලී බව දැනට හොයාගෙන තියනවා.

උදේට කෝපි කෝප්පයක් පානය කිරීමෙන් ලබාගන්න පුලුවන් වාසි කිහිපයක් ගැන තමයි අද අපි ඔයාට කියන්නෙ.

01. හොඳින් ව්‍යායාම කිරීමට කෝපි උපකාරී වෙනවා.

උදේට අවදි වෙලා ව්‍යායාමවල නිරත වෙන අයට වඩාත්ම සුදුසු වෙන්නෙ උදේට කෝපි කෝප්පයක් බොන එකයි. තේ වලට වඩා කෝපිවල වැඩිපුර කැෆේන් ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඒ නිසා කෝපි මඟින් ඔයාගෙ ශරීරයේ ක්‍රියාකාරිත්වය ඉහළ නංවා ගන්න පුලුවන්. ඒ වගේම ව්‍යායාම කිරීමෙන් ඇති වන තෙහෙට්ටුව අඩු කරගන්නත් කෝපි උදව් වෙනවා.

02. අවධානය යොමු කිරීම සඳහා කෝපි උපකාරී වෙනවා.

විභාගයකට පාඩම් කිරීමේදී හෝ අවධානයෙන් කරන්න ඕන වැඩක් කිරීමේදී කෝපි ගොඩක් ප්‍රයෝජනවත් පානයක්. කෝපිවල වැඩිපුර කැෆේන් තියන නිසා රාත්‍රී කාලයේදී ක්‍රියාකාරීව සිටීමට සහ අවදියෙන් සිටීමට උපකාරී වෙනවා. රාජකාරියේ නියැලීමට සහ ඔයාව හොඳින් අවදියෙන් තැබීමට කෝපිවලට පුලුවන්.

03. කෝපි මගින් ඔයාට ක්‍ෂණික ශක්තියක් ලබා දෙනවා.

තේ කියන්නෙ කැෆේන් සහ එල්-තයනීන් අඩංගු පානයක්. කැෆේන් අපේ මොළයේ තිබෙන ඇඩිනොසීන් ප්‍රතිග්‍රාහක සමඟ අන්තර් ක්‍රියා කරලා තෙහෙට්ටුව පිළිබඳ හැඟීම අඩු කරනවා.

කොපි කෝප්පයක් බීලා විනාඩි 15ක් විතර යනකොට එහි තිබුණු කැෆේන් රුධිරයට එකතු වෙන නිසා ශරීරයට ක්ෂණික ශක්තියකුත් ලබාදෙනවා.

04. බර අඩු කර ගැනීමට කෝපි උපකාරී වෙනවා.

විශේෂයෙන් පිරිමි අය කෝපි වැඩිපෙන් බොන නිසා එයාලගෙ ශරීරයේ එකතු වෙන මේද ප්‍රමාණය අඩු බව පරීක්ෂණවලින් හොයාගෙන තියනවා. ඒ වගේම ක්ලෝරොජෙනික් අම්ලය ශරීරයේ බර අඩු කර ගැනීමට ගොඩක් ප්‍රයෝජනවත් වන අතර සිහින් ශරීරයකට කැමති අයට කෝපි කියන්නෙ හොඳම තේරීමක් බවත් පර්යේෂකයන් කියනවා.

05. කෝපි වලට දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරන්න පුලුවන්.

අධ්‍යයනයකින් හෙළි වුණේ කැෆේන් දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරන බවයි. දිනකට කෝපි කෝප්ප 3 ක් පමණක් ගැනීමෙන් දියවැඩියාව ඇතිවීමේ අවදානම 42% කින් අවදානම අඩු කරන බව වෛද්‍යවරු කියනවා. තවත් අධ්‍යයනයක දී, කැෆේන් සහිත කෝපි දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කිරීමට උදව් වෙන බවට් පෙන්වා දී තිබෙනවා.

ව්‍යාකූල බවක් දැනෙනවාද?

ඔයා තේ වලට කැමති කෙනෙක් නම් ඔයාගෙ දෛනික චර්යාවට කෝපි ටිකක් එකතු කර ගන්න උත්සාහ කරන එක හොඳයි. හැබැයි ඉතින් තේ වලත් ගොඩක් ප්‍රයෝජන තියනවා.

කොහොම වුණත් තේ හා කෝපි අතරින් වඩාත්ම හොඳ පානය මොකක්ද කියලා හිතනකොට, හැමවිටම වෘත්තීය මතයක් දරණ කෙනෙක්ගෙන් උපදෙස් ලබාගන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා වඩාත් සුදුසු දේ තෝරගන්න නම් පෝෂණවේදීයෙකුගෙන් හෝ වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *