කොරියානු කාන්තාවන් තරුණ පෙනුමක් ගැනීමට කරන දේවල් 10 ක්

කොරියාවේ කාන්තාවන්ගෙ සම ඕන කෙනෙක්ට දැක්කම ආස හිතෙන දෙයක්. එයාලා එයාලගෙ සම ආරක්ෂා කරගන්න ගොඩක් ක්‍රම භාවිතා කරනවා. දීප්තිමත්, පැහැපත් හා කැළැල් නැති පැහැදිලි සමක් ලබා ගන්න කොරියානු කාන්තාවන් අනුගමනය කරන රූපලාවණ්‍ය රහස් මොනවද කියලා අපි හොයලා බැලුවා.

කොරියානු රූපලාවණ්‍ය ක්‍ෂේත්‍රයේ ගොඩාක් ප්‍රසිද්ධ රූපලාවණ්‍ය උපක්‍රම කිහිපයක් ගැනයි අද අපි ඔයාට කියලා දෙන්නෙ. පැහැදිලි හා සෞඛ්‍ය සම්පන්න සමක් ලබා ගැනීමට මේ උපදෙස් ඔයාට ගොඩක් වැදගත් වෙයි.

01. පියවර කිහිපයකින්ම සම පිරිසිදු කරන්න.

ඇත්තටම කොරියානු කාන්තාවන්ගෙ සම ආරක්ෂණ ක්‍රියාවලිය පටන් ගන්නෙ සන්ස්ක්‍රීන් සහ මේකප් වගේ තෙල් සහිත අපද්‍රව්‍ය ඉවත් කිරීමට පාවිච්චි කරන තෙල් සහිත ක්ලෙන්සර් එකකින්. එමගින් සමේ සිදුරු වලින් වැඩිපුර තෙල් ඉවත් කරනවා. දෙවන පියවර තමයි දහඩිය හා අපිරිසිදුකම වගේ ජලය මත පදනම් වූ අපද්‍රව්‍ය ඉවත් කරන ජලය මත පදනම් වූ පිරිසිදුකාරකයක් භාවිතා කිරීම. හැම විටම, සමේ මැරුණු සෛල ඉවත් කිරීමට හා පැහැපත් කරගැනීමට මේ විදියට සම පිරිසිදු කරන එක ගොඩක් වැදගත්.

02. මුහුණ මසාජ් කරන්න.

මෙමගින් මුහුණේ වසා ගැටිති උත්තේජනය කරන අතරම මුහුණේ රුධිර සංසරණය වැඩි දියුණු කරනවා. ඒ වගේම සමේ තියන අපද්‍රව්‍ය ඉවත් කිරීමෙන් වයසට යාම වැළැක්වීමට උපකාරී වෙනවා. මුහුණ මසාජ් කිරීමෙන් ඇස්වලට ඉහළ, ඇස් දෙක අතර ප්‍රදේශය හා කට වටා රැළි ඇති වීම වළක්වගන්න පුලුවන්.

මුහුණ පිරිසිදු කිරීමෙන් පසු, ඔයා කැමතිම මොයිස්චරයිසින් නිෂ්පාදනයක් මුහුණේ ආලේප කරලා සම හෙමින් මසාජ් කරන්න.

03. ඉක්මනින්ම මොයිස්චරයිස් කරන්න.

මොයිස්චරයිසින් කිරීමෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න නම් නෑමෙන් හෝ ඇඟ සේදීමෙන් පසු ඇඟේ තියන වතුර ටික පිහිදපු ගමන්ම මොයිස්චරයිසින් ක්‍රීම් එක ආලේප කරන්න. ඔයා නානකොට හෝ ඇඟ සෝදනකොට සමේ සිදුරු විවෘත වෙනවා. ඒ නිසා ඔයාගෙ ඇඟේ තියන වතුර වේලිලා විනාඩියක් ඇතුළත මොයිස්චරයිසර් ආලේප කිරීමෙන් හොඳම ප්‍රතිඵල ලබාගන්න පුලුවන්.

04. විටමින් සී භාවිතා කරන්න.

විටමින් සී මගින් සුදුමැලි වුණු සම ඇතුළේ සිට පිටත දක්වාම පෝෂණය කරනවා. එහි තියන ප්‍රතිඔක්සිකාරක ගුණාංග මගින් තෙහෙට්ටුව සහිත සම පිරිසිදු කරනවා. සමේ රුධිර සංසරණය වැඩි දියුණු කරලා සම දීප්තිමත් හා නැවුම් කිරීමට උපකාරී වෙනවා. සමේ තියන කුණු දූවිලි හා වැඩිපුර තෙල් ඉවත් කිරීමටත්, මැරුණු සෛල ඉවත් කිරීමටත් සිට්‍රික් අම්ලය ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා.

සිට්රික් අම්ලයේ තියන ගුණාංග නිසා විටමින් සී සීරම් එකක් භාවිතා කරන්න පුලුවන්. එහෙමත් නැත්නම්, ලෙමන් භාගයක් බඳුනකට මිරිකලා ඒකට වතුර ටිකකුත් එකතු කරලා කපු බෝලයකින් ඔයාගෙ සමට ආලේප කරන්න. මෙමගින් ඔයාගෙ සම දීප්තිමත් හා පැහැදිලි කරනවා. එළියට යන්න කලින් ලෙමන් හෝ විටමින් සී අඩංගු නිෂ්පාදන භාවිතා කරන්න එපා. මොකද විටමින් සී හිරු එළියට නිරාවරණය වීමෙන් සම අවපැහැ ගන්වනවා.

05. ජින්සෙන්ග් ඖෂධය උත්සාහ කරන්න.

හොඳ සෞඛ්‍යයක් පවත්වගන්න කොරියාවේ කාන්තාවන් භාවිතා කරන හොඳම බෙහෙත තමයි මේ. එය ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරනවා. එමගින් සම වයසට යාම වළක්වනවා. සමේ ඇදෙන සුළු ගතිය පවත්වගන්නවා.ඒ විතරක් නෙවෙයි, සමේ සෛලවල ආයු කාලය දීර්ඝ කරනවා. සමේ කොලජන් නිෂ්පාදනය වැඩි කිරීමට ජින්සෙන්ග් ගොඩක් ප්‍රයෝජනවත්.

06. හයුලූරොනික් අම්ලය භාවිතා කරන්න.

වයසට යනකොට අපේ සමෙන් නිපදවන සෙබන් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට සමේ තෙතමනය ටික ටික අඩු වෙලා සම වයසට යාම වේගවත් වෙනවා. හයුලූරොනික් අම්ලය කියන්නෙ සමේ තෙතමනය ආරක්ෂා කරගන්න ගොඩක් වැදගත් වෙන අමුද්‍රව්‍යයක්. එමගින් ඔයාගෙ සමේ තෙතමනය පවත්වා ගැනීමට උපකාරී වෙනවා. ඒ වගේම සමේ ඇදෙන සුළු ගතියත් වැඩි දියුණු කරනවා.

07. ගොළුබෙල්ලන්ගේ සාරය

කොරියානු කාන්තාවන් සම රැකවරණයට පාවිච්චි කරන අසාමාන්‍ය ස්වාභාවික අමුද්‍රව්‍යයක් තමයි මේ. මේවායේ පුදුමාකාර මූලද්‍රව්‍ය රාශියක් අඩංගු වෙනවා. එහි කොලජන්, හයුලූරොනික් අම්ලය, විටමින් හා ඛනිජ ලවණ තියනවා. එමගින් ස්වාභාවිකවම සෛල ප්‍රතිජනනය කිරීමට උදව් වෙනවා. ගොළුබෙල්ලා එයාගෙ කටුව යථා තත්වයට පත් කරගන්නත් මේවා භාවිතා කරනවා.

එහි ව්‍යුහය නිසා ගොළුබෙල්ලන්ට නිදහස් රැඩිකලුන් හොඳින් සම්බන්ධ කිරීමට සහ කොලජන් හා ඉලාස්ටින් නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබිලා තියනවා. එය සම මොයිස්චරයිසින් කරනවා. සමට හුස්ම ගැනීමටත් ඉඩ සලසනවා.

08. සන්ස්ක්‍රීන් මගින් පාරජම්බුල කිරණවලින් ආරක්ෂා කරනවා.

ඔයාගෙ සම දිගු කාලයක් පාරජම්බුල කිරණවලට නිරාවරණය වෙනකොට කොලජන් නිෂ්පාදනය අඩුවීම නිසා සම ඉක්මනින් වයසට යන්න පටන් ගන්නවා. ඒ නිසා සන්ස්ක්‍රීන් කියන්නෙ කොරියාවෙ කාන්තාවන්ට නැතුවම බැරි රූපලාවණ්‍ය නිෂ්පාදනයක්. කොරියානු සම රැකවරණයේ සන්ස්ක්‍රීන් සාමාන්‍යයෙන් ටිකක් සැහැල්ලු ගතියකින් යුක්ත වෙනවා. ඒවා සමට හොඳින් අවශෝෂණය කර ගන්නවා. කිසිම ඇලෙන සුළු හා තෙල් සහිත අපද්‍රව්‍යයක් සම මත ඉතිරි කරන්නෙ නෑ. ඊට අමතරව, එමගින් සම මොයිස්චරයිසින් කරනවා. මේකප් කරන්න කලිනුත් සන්ස්ක්‍රීන් භාවිතා කරන්න පුලුවන්.

හිරු එළියේ කාලය ගත කරන අයට සන්ස්ක්‍රීන් ගොඩක් වැදගත්. මොකද අගින් ඔයාගෙ සම පිළිකා වලින් ආරක්ෂා කරගන්න උදව් වෙනවා.

09. කොලජන් සීරම් භාවිතා කරන්න.

කොලජන් කියනෙ සමට ව්‍යුහය සපයන ප්‍රෝටීන් වර්ගයක්. ඒක හරියට ගොඩනැගිල්ලක රාමුවක් වගේ. රාමුව හරියට නැත්නම් ගොඩනැගිල්ල කඩන් වැටෙනවා. ඉතින් මේ කොලජන්, සමේ නැමෙන සුළු ගතිය පවත්වා ගැනීමට උපකාරී වෙනවා. සම වඩාත් දීප්තිමත් කරනවා. වයසත් එක්ක සමේ කොලැජන් නිෂ්පාදනය අඩු වෙනවා. කොලජන් අඩුවීම නිසා සම වේගයෙන් වයසට යන්න පටන් ගන්නවා. ඒක වළක්වගන්න කොලජන් සීරම් භාවිතා කරනවා.

10. පෙප්ටයිඩ

කොලජන් කියන්නෙ කුඩා කොටස් ගොඩකින් හදපු දම්වැලක් වගේ ප්‍රෝටීනයක්. මේ කුඩා කොටස්වලට තමයි පෙප්ටයිඩ කියලා කියන්නෙ. අපේ ශරීරයේ පෙප්ටයිඩ ප්‍රමාණය වැඩි වෙනකොට, සමේ කොලැජන් ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නෙ පෙප්ටයිඩ අඩංගු නිෂ්පාදන, කොලජන් නිෂ්පාදනය වැඩි කිරීමට උපකාරී වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *