රන්වන් පාට සමක් ලබා ගන්න මේ ආහාර 17 අනුභව කරන්න

අපේ ශරීරයේ විශාලම ඉන්ද්‍රිය තමයි අපේ සම. අපි ආහාරයට ගන්න දේවල්වල හොඳ නරක අපේ සමෙන් එළියට පෙන්නුම් කරනවා. ඒ නිසා ක්‍රීම් හා ලෝෂන් වර්ගවලට විතරක් ඔයාගෙ සමට ලස්සන පෙනුමක් ලබාදෙන්න බෑ. ඔයාගෙ ආහාර රටාවත් සමේ සෞඛ්‍යයට බලපානවා. සම වයසට යාම පටන් ගන්නෙ ශරීරය ඇතුළත සිටයි. ඒ නිසා නිවැරදි ආහාර රටාවකට යොමු වීමෙන් සම ඇතුළත සිට රැකබලාගන්න පුලුවන්.

අද අපි ඔයාට කියන්න යන්නෙ සරල ආහාර වර්ග 17 ක් මගින් ඔයාගෙ සම වයසට යාම වළක්වගන්නෙ කොහොමද කියලයි. සමේ වයසක පෙනුම නැති වෙලා සමට ලස්සන දිලිසෙන පෙනුමක් ලබා දෙන්නත් මේ ආහාර වර්ග ඔයාට උදව් වෙනවා.

01. මේදය සහිත මාළු

සෞඛ්‍ය සම්පන්න හා දිලිසෙන සමක් සඳහා සැමන්, මැකරල්, හුරුල්ලන්, සාඩින්, ටූනා වගේ ඔමේගා-3 මේද අම්ල අධික මාළු වර්ග ගොඩක් වැදගත්. ඔමේගා-3 මේද අම්ල මගින් සම මොයිස්චරයිසින් කරලා සමේ දැවිල්ල අඩු කරනවා. මේ මාළු වර්ගවල අඩංගු ප්‍රතිඔක්සිකාරක, විටමින් ඊ හා සින්ක් මගින් තුවාල සුව කිරීමට හා කුරුලෑ අඩු කිරීමටත් උදව් වෙනවා.

02. නට්ස් වර්ග

නට්ස් වර්ගවලත් ඔමේග-3 මේද අම්ල, සින්ක් හා විටමින් ඊ බහුලව තියනවා. ඒ වගේම, ඔයාගෙ සම තරුණ හා දීප්තිමත් ලෙස තබා ගැනීමට උපකාරී වන වෙනත් ඛනිජ හා විටමින් වර්ගත් අඩංගුයි. සමේ රෝග වළක්වන්න උදව් වෙන බී කාණ්ඩයේ විටමින් කිහිපයක්, හොඳ ප්‍රතිඔක්සිකාරකයක් වන සෙලේනියම් හා වයස්ගත වීම අඩු කරන විටමින් සී වගේ ගොඩක් පෝෂ්‍ය පදාර්ථ නට්ස් වල තියනවා. වොල්නට්, ආමන්ඩ් හා කජු වගේ නට්ස් වර්ග අපේ සමට ගොඩක් වැදගත් වෙනවා.

03. අලිගැටපේර

අලිගැට පේර කියන්නෙ සෞඛ්‍ය සම්පන්න මේද වලින් පිරුණු තවත් ආහාරයක්. එය ඔයාගෙ සමේ නැමෙන සුළු බව හා තෙතමනය වැඩි දියුණු කිරීමට උපකාරී වෙනවා. ඒ වගේම අලිපේරවල කැරොටිනොයිඩ් බහුලයි. එමඟින් සම හිරු කිරණවලින් සිදුවන හානිවලින් ආරක්ෂා කරනවා. අලිගැට පේරවල වැදගත්ම දේ තමයි කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරන ෆයිටොකෙමිකල්-ඩී-මැනෝහෙප්ටුලෝස් අඩංගු වීම.

04. ග්‍රීන් ටී

ගොඩක් දෙනෙක්ගේ ප්‍රියතම පානයක් තමයි ග්‍රීන් ටී කියන්නෙ. ඒක රසවත් පානයක් විතරක් නෙවෙයි, ඔයාගෙ සමේ සෞඛ්‍යයටත් ගොඩක් ප්‍රයෝජන ලබා දෙනවා. එහි පොලිෆෙනෝල් හා කැටචින් කියන ප්‍රතිඔක්සිකාරක බහුලයි. එමගින් ඔයාගෙ සම හිරු කිරණවලින් වන හානිවලින් ආරක්ෂා කරනවා. ඒ වගේම සමේ දැවිල්ලට එරෙහිව සටන් කරලා සමේ රතු පැහැය අඩු කරනවා.

05. යෝගට් හා කෙෆීර්

යෝගට් හා කෙෆීර් සජීවී ප්‍රෝබියොටික් වලින් පිරිලා තියනවා. එමඟින් ඔයාගෙ සම රතු වීම, ආසාදනය වීම හා කුරුලෑ ඇතිවීම අඩු කරනවා. එහි ඇතිහිතකර බැක්ටීරියා මගින් බඩවැල් තුළ ඇතිවන දැවිල්ලට එරෙහිව සටන් කරනවා. එමගින් සමේ ඇතිවන රෝග බොහොමයකුත් අඩු කරනවා.

ඔයාගෙ සම පුනර්ජීවනය කිරීම සඳහා ඔයාට යෝගට් පාවිච්චි කරන්න පුලුවන්. යෝගට් වල තියන ලැක්ටික් අම්ලය මගින් වයස්ගත වීම අඩු කරනවා. එමඟින් සමේ සිහින් රැළි ඇතිවීම අඩු කරලා ඔයාගෙ මුහුණට නිරෝගී දිලිසෙන පෙනුමක් ලබාදෙනවා.

06. මී පැණි

මී පැණි කියන්නෙ ස්වාභාවිකවම ප්‍රතිබැක්ටීරීය, ප්‍රතිඔක්සිකාරක ගුණ අඩංගු දෙයක්. ඒ නිසා ඔයාගෙ සමට ගොඩාක් ප්‍රයෝජන ලබාදෙනවා. ෆේස් මාස්ක් වලට මී පැණි යොදා ගන්නේ මුහුණේ දැවිල්ල අඩු කිරීම, කුරුලෑ වලට ප්‍රතිකාර කිරීම හා වියළි සම මොයිස්චරයිසින් කිරීමටයි. ඒ විතරක් නෙවෙයි, වෙනත් රසකැවිලි හෝ පැණිරස ආහාර වෙනුවට මී පැණි ආහාරයට ගන්න පුලුවන් නම් ඔයාගෙ ශරීරයට තවත් ප්‍රයොජන ගොඩක් ලබාගන්න පුලුවන්.

07. බ්ලූබෙරි

ගොඩක් බෙරි වර්ග ඔයාගෙ සමට විතරක් නෙවෙයි ඔයාගෙ සෞඛ්‍යයටත් ප්‍රයෝජන රැසක් ලබාදෙනවා. ඒ අතරින් බ්ලූබෙරී ගොඩක් හොඳයි. බ්ලූබෙරිවල ප්‍රතිඔක්සිකාරක බහුලයි. එමඟින් ඔයාගෙ සමට සිදුවෙන නිදහස් රැඩිකල් හානිවලට එරෙහිව සටන් කිරීමට හා සම ඇතුළත සිට අලුත්වැඩියා කිරීමටත් උදව් වෙනවා. බ්ලූබෙරීස් වල තියන ඇන්තොසියානින් මගින් කොලජන් නිපදවීම වැඩි කරනවා. එමඟින් ඔයාගෙ සම තරුණව හා සෞඛ්‍ය සම්පන්නව පවත්වගන්න උදව් වෙනවා.

08. දොඩම්

දොඩම් කියන්නෙ විටමින් සී හා ජලය බහුල ආහාරයක්. ජලය මගින් සම තෙත් කරලා සමේ බිඳවැටීම් වළක්වනවා. විටමින් සී හොඳ ප්‍රතිඔක්සිකාරකයක් වන අතර කොලජන් නිපදවීමට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. කොලජන් මගින් ඔයාගෙ සම ස්ථිරව තියාගන්න උදව් වෙනවා.

09. දෙළුම්

මේ පලතුරත් සමට හිතකර විටමින් සී වලින් පොහොසත්. දෙළුම් වල එලාජික් අම්ලය සහ පුනිකලැජින් අඩංගු වෙනවා. පුනිකලැජින් මගින් කොලජන් ආරක්ෂා කර ගැනීම සඳහා ශරීරයේ ධාරිතාව වැඩි කරනවා. එලාජික් අම්ලය, නිදහස් රැඩිකලුන්ගෙන් සමට සිදුවන හානියට එරෙහිව සටන් කරනවා. ඒ වගේම කොලජන් බිඳවැටීමේ වේගය අඩු කරනවා.

10. තක්කාලි

තක්කාලි කියන්නෙ විටමින් සී අඩංගු තවත් හොඳ ප්‍රභවයක්. ලයිකොපීන්, ලුටීන්, ඇල්ෆා කැරොටින් හා බීටා-කැරොටින් වගේ ප්‍රධාන කැරොටිනොයිඩ් අඩංගු වෙනවා. ප්‍රතිඔක්සිකාරක කැරොටිනොයිඩ් මගින් ඔයාගෙ සම හිරු හානිවලින් ආරක්ෂා කරනවා. සම රැළි වීම වළක්වනවා.

තක්කාලිවල ගොඳම ප්‍රයෝජන ලබා ගන්න නම් ඒවා අමුවෙන් කනවාට වඩා ඔලිව් තෙල් වගේ සෞඛ්‍ය සම්පන්න තෙල් වර්ගයක් එකතු කරලා උයලා කන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. එමගින් ඔයාගෙ ශරීරයට වැඩි ලයිකොපීන් ප්‍රමාණයක් අවශෝෂණය කරගන්න පුලුවන්.

11. නිවිති සහ කැලේ

කොළපාට එළවළු වන නිවිති හා කැලේ විටමින් A, C හා E ඇතුළුව සමට හිතකර විටමින් වලින් පිරිලා තියනවා. විටමින් A මගින් සෙබන් නිෂ්පාදනය පාලනය කරනවා. විටමින් සී මගින් කොලජන් නිෂ්පාදනය වැඩි කරනවා. විටමින් ඊ මගින් සමට ඔක්සිකාරකවලින් සිදුවන හානි අඩු කරනවා. ඔයාගෙ සම මොයිස්චරයිසින් කරලා සමේ රැළි නැති කරනවා. නිවිති හා කැලේ යන දෙකම ප්‍රති-ගිනි අවුලුවන, බඩවැල්වල දැවිල්ලට එරෙහිව සටන් කරන ප්‍රයෝජනවත් ආහාර වර්ග දෙකක්.

12. බෙල් පෙපර්

සියලුම පලතුරු හා එළවළු අතුරින් රතු හා කහ බෙල් පෙපර් වල වැඩිපුරම විටමින් සී අඩංගු වෙනවා. ඒවා සමට නිරෝගී විටමින් බී 6 සහ බී 9 (ෆෝලේට්) වගේම කැරොටිනොයිඩ් වලිනුත් පොහොසත්. සමේ රෝග, දද හෝ කුරුලෑ වගේ ගැටලු වළක්වා ගැනීමට B6 උදව් වෙනවා. ෆෝලේට් මගින් ඔයාගෙ සමේ ස්ථායිතාව වැඩි දියුණු කරනවා.

රතු, කහ විතරක් නෙවෙයි, ඕනම පාටක බෙල් පෙපර් වලින් ඔයාට ගොඩක් පෝෂ්‍ය පදාර්ථ ලබා ගන්න පුලුවන්.

13. පැසුණු ආහාර

යෝගට් සහ කෙෆීර් විතරක් නෙවෙයි, ඕනම පැසුණු ආහාරයක ප්‍රෝබියොටික් අඩංගු වෙනවා. ඔයාගෙ බඩවැල්වල තියන අහිතකර බැක්ටීරියා සමතුලිත කිරීම වගේම සමේ දැවිල්ල පාලනය කරන්නත්, රැළි වළක්වා ගැනීමටත් ඒවා උදව් වෙනවා. ඒ විතරක් නෙවෙයි, සමේ වයස්ගත වීම වළක්වන ලැක්ටික් අම්ලයත් ඒවායේ අඩංගු වෙනවා.

14. කහ

කහවල ප්‍රති-ගිනි අවුලුවන ගුණ තියනවා. ඒ නිසා කුරුලෑ සුව කිරීමට හා සම රතු වීම අඩු කිරීමටත්, සමට ඔක්සිකාරකවලින් සිදුවන හානිය වළක්වා ගැනීමටත් උදව් වෙනවා. ඒ වගේම හිරුකිරණවලින් හානි වී ඇති සම අලුත්වැඩියා කරනවා වගේම සමේ පිළිකා වළක්වන්නත් කහ ප්‍රයෝජනවත් වෙනවා.

15. අමු කොකෝවා

අමු කොකෝවා මේ තරම් හොඳ වීමට හේතුව තමයි එහි ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන රෙස්වෙටරෝල් අඩංගු වීම. එමගින් හිරු කිරණවලින් හානි වූ සම ආරක්ෂා කරලා අළුත්වැඩියා කරනවා. සම අකලට වයසට යාම වළක්වනවා. කොකෝවාවල අඩංගු මැග්නීසියම් මගින් සමේ ආසාදන අඩු කරනවා.

බැදපු කොකෝවා සහ කොකෝවා වලින් හදපු ඩාර්ක් චොක්ලට් වලත් රෙස්වෙටරෝල් ඩංගු වෙනවා. ඒත් ලොකු ප්‍රමාණයක් අඩංගු වෙන්නෙ නෑ. ඒ නිසා අමු කොකෝවා ස්මූති හෝ යෝගට් වලට එකතු කිරීමෙන් කොකෝවාවල තියන උපරිම පෝෂක ප්‍රමාණය ලබාගන්න පුලුවන්.

16. ඕට්ස්

ඕට්ස්වල මැංගනීස් බහුලයි. මැංගනීස්, ඔයාගෙ සමට අත්‍යවශ්‍ය විටමින් හා කොලීන්, බයෝටින්, විටමින් සී වගේ ඛනිජ ලවණ අවශෝෂණය කර ගැනීමට උපකාරී වෙනවා. ඒවා ඔයාගෙ සමේ නැමෙන සුළු බව ආරක්ෂා කර ගැනීමට හා නිදහස් රැඩිකලුන්ගෙන් වන හානිවලට එරෙහිව සටන් කිරීමට උපකාරී වෙනවා. ඒවගේම ඕට්ස් වල සම සුව කරන සින්ක් හා ප්‍රතිඔක්සිකාරකයක් වන සෙලේනියම් ද අඩංගු වෙනවා.

17. ඔලිව් තෙල්

ඔයාගෙ මුළු සෞඛ්‍යයටම ගොඩක් ප්‍රයෝජනවත් තෙල්වලින් එකක් තමයි ඔලිව් තෙල් කියන්නෙ. එහි ඔමේගා-3 මේද අම්ල හා පොලිපෙනෝල් අඩංගු වෙනවා. ඔමේගා-3 මගින් ඔයාගෙ සම මොයිස්චරයිසින් කරනවා. පොලිෆෙනෝල් මගින් සම ඔක්සිකාරක හානිවලින් ආරක්ෂා කරලා සමේ දැවිල්ලට එරෙහිව සටන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *