හිසකෙස් වැවීම වේගවත් කරන අරුම පුදුම කෑම වර්ග

කොණ්ඩෙ වවන්න විතරක් නෙවෙයි ලස්සනට කොණ්ඩෙ තියාගන්නත් හැමෝම ආසයිනේ. කාන්තාවකගේ ආභරණයක් විදියට තමයි කොණ්ඩය සැලකෙන්නේ. අපි කොණ්ඩෙ දිගට වවාගන්න ගොඩක් දේවල් කරනවා. තෙල් සත්කාර, බෙහෙත් වගේම අත් බෙහෙත් වගේ දේවලුත් උත්සාහ කරනවා. කොණ්ඩෙ නිසා මුහුණට විතරක් නෙවෙයි ඔයාගෙ සම්පූර්ණ පෙනුමටත් ලස්සනක් වගේම වෙනසක් එකතු කරනවා. කොණ්ඩෙ ලස්සනට තියාගන්න පාට කරනවා, ස්ට්‍රේට් කරනවා, කර්ල් කරනවා වගේ ගොඩක් දේවල් අපි කරන්නෙ ඒකයි.

විලාසිතා කරන්න කලින් කොණ්ඩෙ ලස්සනට වවාගෙන ඉන්න වෙනවනේ. කොණ්ඩෙට හොඳ පෝෂණයක් බාහිරින් වගේම ශරීරය ඇතුළෙනුත් ලබා දුන්නොත් තමයි පිරිපුන් කෙස් කලඹක් ලබා ගන්න පුලුවන් වෙන්නෙ. ශරීරයට ඇතුළතින් පෝෂණයක් දෙන්න නම් අපි කන කෑම වර්ග ගැන අපි විශේෂ සැලකිල්ලක් දෙන වෙනවා. අපි අද ඔයාට කියලා දෙන්න යන්නෙ ලස්සනට කොණ්ඩෙ වවාගන්න හොඳ පෝෂණයක් ලබාදෙන ආහාර වර්ග 6 ක් ගැනයි.

01. සැමන් මාලු


මෙතනදි සැමන් මාලු කියන්නෙ ටින් මාලු නෙවෙයි. නැවුම් සැමන් මාලුවල තියන ඔමේගා-3 මේද අම්ලවලට හිසකෙස්වල මුල් ශක්තිමත් කරන්න පුලුවන්. ඒ වගේම සැමන් මාලුවල හිසකෙස් වැඩීමට උදව් වෙන යකඩ හා විටමින් බී 12 තියනවා.

02. මුහුදු බෙල්ලෝ


ඔයිස්ටර් හෝ මුහුදු බෙල්ලන් කියන්නෙත් කෙස් හොඳින් වර්ධනය වෙන්න අවශ්‍ය සින්ක් වැඩියෙන් අඩංගු ආහාරයක්. ඒ වගේම සින්ක් නිසා හිසකෙස්වලට දීප්තිමත් පෙනුමකුත් ලබා දෙනවා. ඔයාට දවසට අවශ්‍ය සින්ක් ප්‍රමාණය ලබාගන්න නම් දවසට එක මුහුදු බෙල්ලෙක් ආහාරයට ගත්තම ඇති. ඒත් මුහුදු බෙල්ලන් ටිකක් මිල අධිකයි. ඒ නිසා දවස ගානෙ කන්න නම් ලේසි නෑ. ඔයාට මේ වෙනුවට ඌරු මස් හෝ හරක් මස් වලින් අවශ්‍ය සින්ක් ප්‍රමාණය ලබා ගන්න පුලුවන්.

03. කුකුල් මස්


සත්ව ප්‍රෝටීන් වලින් පිරුණු ආහාරයක් තමයි කුකුල් මස් කියන්නෙ. අපේ කෙස්ගස්වල මුලේ තියන කේෂ කූපයේ සියයට අනූවක්ම හැදිලා තියෙන්නෙ කෙරටින් වලින්. කෙරටින් නිපදවන්න සත්ව ප්‍රෝටීන අවශ්‍ය වෙනවා. මේ ප්‍රෝටීන අඩු වීම මාස කිහිපයක් තිබුණොත් කෙස් ගැලවිලා යන්න පටන් ගන්නවා.

04. බිත්තර


ප්‍රෝටීන් බහුල ආහාරයක් වන බිත්තරවල බයෝටීන් අඩංගු වෙනවා. කොණ්ඩෙ ගැලවෙන එකට හොඳ බෙහෙතක් තමයි මේ බයෝටීන් කියන්නෙ. ඒ වගේම කෙස්වල වැඩීමටත් බලපාන ඇමයිනෝ අම්ල හා ලුයිසින් වගේ පෝෂක රැසක් බිත්තරවල අඩංගුයි.

05. ආමන්ඩ්


විටමින් ඊ මගින් කෙස් ශක්තිමත් කරනවා වගේම හිසකෙස් වැඩීමත් උත්තේජනය කරනවා. ආමන්ඩ් වල විටමින් ඊ බහුලව අඩංගු වෙන නිසා දවසට ආමන්ඩ් ඇට දහයක් පහලොවක් ආකාරයට ගන්නවා නම් දවසට අවශ්‍ය විටමින් ඊ වලින් සීයට හැත්තෑවක්ම ලැබෙනවා. ඒ වගේම මේද අම්ල, බයෝටීන් හා විටමින් බී ත් ආමන්වල තියනවා.

06. වට්ටක්කා ඇට


වට්ටක්කා ඇටවල විටමින් බී1, බී2, බී3 වගේම විටමින් බී4 ත් තියනවා. මේ ඔක්කොම පෝෂණීය කෙස් කලඹක් සඳහා අත්‍යවශ්‍ය වෙනවා. වට්ටක්කා ඇටවල අඩංගු විටමින් බී5 හා බී6 මගින් හිස්කබලට පෝෂණයක් ලබා දෙනවා. වට්ටක්කා ඇට හෝ වට්ටක්කා හොඳින් ආහාරයට ගන්නවා නම් ඔයාට හිසකෙස් ගැලවී යාමේ ප්‍රශ්න ගොඩක් අඩු කරගන්න පුලුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *